ජුලි 5, 2017.  ජුලි මාසේ එක් ඉරු දිනක, බියගම මහා විදුහලේ දරුවන් හැත්තාවක් කොළඹ සිට නුවරඑළිය ළග පිහිටි ඌවකැලේ දක්වා පිටත් විය.  ඔවුන් මෙලෙස පිටත් වුනේ තම පාසැල මදර් ශ්‍රී ලංකා Project RUN සදහා 2017 වර්ෂයට ඉදිරිපත් කර ඇති වියාපෘතිය යටතේ තවත් සත්කාර වැඩසටනක් සාර්ථක කරගැනීමටය.  ඔවුන්ගේ වියපෘතිය වුයේ සිංහල දරුවන් විසින් දෙමල දරුවන් වෙනුවෙන් පුස්තකාලයට පොත් සහ පාසැලට කොම්පියුටර් ලබාදීමය.  එපමණින් නොනැවතුණු මේ දරුවන්,   ඌවකැලේ ඉතා දුෂ්කර පලාතක ජීවත්වන තමන්ගේ සහෝදර සහෝදරියන්ට පොත්, කෑම බීම, පාසල් ගෙනියන බෑග් යනාදී වශයෙන් තෑගී බෝග රැසක්ද රැගෙන ආවෝය.

 

නමුත් මේ සත්කාරයට සහභාගීවීම සඳහා උදෑසනින්ම නැගිට පිටත්වූ මෙම දරුවන්ට ඉදිරියේදී මුහුණ දෙන්නට යන බාදක ගැන කිසිම අදහසක් තුබුණේ නැත. දරුවන් 70 දෙනෙකූ රැගෙන ආ බසය පාසලට කි.මි. 7ක් පමණ තිබියදී නවතන්නට සිදුවිය.  මාර්ගයේ සිදුවන අලුත්වැඩියා වැඩ නිසා මෙතනින් එහාට බසයට යා  නොහැකි බවට අපට දැනුම් දෙන ලදී.  මෙයින් පසුබට නොවූ බියගම දරුවන්, සියලුම බඩුත් රැගෙන පයින් හෝ කෙසේ හෝ ගමන යාමට තීරණය කරන ලදී.

 

මීළග කි. මි. 7 මෙලෙස පයින් ගමන කළ දරුවන් සහ ගුරුවරුන් කණ්ඩායමට මදර් ශ්‍රී ලංකා නියෝජනය කරමින් පැමිණ සිටි සභාපතිනිය ඇතුළු තවත් අධ්‍යක්ෂවරු දෙදෙනාද එක්වුයෝය.  දරුවන්ගේ ධනාත්මක ආකල්ප නිසා ඉතා අපහසු ගමනක් සින්දු කියමින් යාම නිසා වැඩිහිටි අපටද අමාරුවක් දැනුනේ නැත.

 

 

මෙම දෙමළ පාසලට පිවිසීමට තිබු පාලම් කැඩී තිබුනත්, මෙම සිංහල දරුවන් තමන්ගේ සහෝදර දෙමළ දරුවන් වෙනුවෙන් කළ සත්ක්‍රියාව නිසා අලුත් සංහිදියාවේ, සහෝදරත්වයේ සහ සෙනෙහසේ පාලම් සැදෙන හැටි අපි දුටුවෙමු.  මෙම සත්ක්‍රියාවෙන් සංහිදියාව පමණක් නොව තමන් විදින සැප පහසුකම් අනෙක් අය සමග බෙදාගැනීමෙන් ලැබෙන සතුට භුක්ති විදීමටද දරුවන්ට හැකිවිය.  දරුවන් විසින් වැඩිහිටි සැමටමද ඉතාමත් වැදගත් පණිවිඩයක් දුන්නේය.   “මෙවැනි හදවතට දැනෙන වියාපෘතියක් අපි කළ පලමු වතාවයි මේ.  මෙම දරුවන්ගේ සිත්වල අප රටේ ජීවත්වන අනෙකුත් ජාතීන් සමග එක්ව වැඩකිරීමේ වැදගත්කම මෙම මදර් ශ්‍රී ලංකා RUN වියාපෘතිය තුලින් අපට මෙනෙවින් තේරුම් ගියා” මදර් ශ්‍රී ලංකා සමාජ වැඩසටහන භාර ගුරුතුමී වන සලුජා මෙනවිය පැවසීය.

 

“අපි මෙවර මදර් ශ්‍රී ලංකා RUN වියාපෘතිය හරහා මෙවැනි වියාපෘති 125ක් දිවයින පූරා දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන ලෙස දැනටමත් ආරම්භ කර ඇත.  මෙවැනි අත්දැකීම් මගින් මදර් ශ්‍රී ලංකා සංවිධානය මගින් දැනට වසර 9ක් තිස්සේ වගකීම් සහිත පුරවැසියන් හදමින් සන්හිදියාව පතුරවිමින් අපේ මව්බිම පූරා ඇතිකරන වෙනස දැක අපිට නිහතමානි සතුටක් ලැබෙනවා” වදට්සාතන්ට සහභාගිවීම සඳහා ඌවකැලේට පැමිණි සිටි මදර් ශ්‍රී ලංකා සභාපතිනි ආචාර්ය ජානකී කුරුප්පු මැතිනිය පැවසිය.

 

මදර් ශ්‍රී ලංකා RUN වියාපෘතිය “වගකීම් සහිත පුරවැසිභාවය” (Responsible Citizenship), “සමාජ එකමුතුබව” (Unity) සහ “ජාතිකාභිමානය” (National Pride) යන තේමා යටතේ 2013 සිට දිවයින පූරා ක්‍රියාත්මක වේ.  මේ වනවිට සමාජ 1400 පමණ මේ වැඩසටහනට සම්බන්ධවී ඇති අතර අධ්‍යාපන අමාත්‍යාශයේද අනුමැතිය ඇතිව ක්‍රියාතමක වේ.   මදර් ශ්‍රී ලංකා සංවිධානයේ මුක්‍ය පරමාර්ථය වනුයේ රටට වැඩක් කළ හැකි වගකීම් සහිත පුරවැසියන් බිහි කිරීමයි.

2008 වර්ෂයේදී ආරම්භ කරන ලද මදර් ශ්‍රී ලංකා සංවිධානය ලාභ නොලබන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන අතර, රජයේ සහ පෞද්ගලික අංශයේ නිලධාරී මණ්ඩලයක් විසින් ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාත්මික, සමාජ ආර්ථික සහ සංස්කෘතික දියුණුව උදෙසා ක්‍රියා කරයි.

. මදර් ශ්‍රී ලංකා සභාපතිනි ආචාර්ය ජානකී කුරුප්පු මැතිනිය සහ අධ්‍යක්ෂකවරු දෙදෙනෙක්ද, බියගම මහා විද්‍යාලයේ සහ ඌවකැලේ දෙමල ප්‍රාථමික විදුහලේ විදුහල්පතිවරුන්ද, නුවරඑලිය කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් සහ දෙමව්පිය්ස්, ගුර්වරුන්ද මෙම උත්සවයට සහභාගී වී සිටියහ.